මැවුනි ඔබ අප්පච්චි
සමහර රූප තියෙනවා ඒවා දැක්කහම අපිට අපිට ජීවිතයේ විවිධ මතකයන් අලුත් වෙනවා. මම අද කතා කරන්න යන්නේ මගේ ජීවිත අත්දැකීමක් ගැන. මම පසුගිය සති අන්තයේ වෙළඳසැලකට යන්න එක්තරා මාවතක් දිගේ ඇවිදගෙන ගියා. ඒ යද්දි ලස්සනට මලින් පිරී ගිය ගහක් මම දැක්කා. ඒ ගහ දැක්කම මට මගේ ජීවිතයේ ආදරණීයම චරිතයක් තමයි මට මුලින්ම සිහියට ආවේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මගේ ආදරණීය තාත්තා. මට ඒ ගහ දකිද්දි මතක් උනේ මගේ තාත්තත් මේ ගහ වගේම නේද කියලා.
මේ දවස්වල වර්ෂාව අඩු නිසා කාලගුණය ඉතාමත් වියලියි. බලන්න මේ ගහ දිහා. ඒ වියළි කාලගුණය නිසාම මේ ගහේ කොළ ඔක්කොම වගේ හැලිලා. හරියට මහලු වෙච්ච ගහක් වගේ. ඒත් ඒ ගහ මල් වලින් පිරිලා. කොච්චර අමාරු තත්වෙක තිබුණත් අදටත් සුවඳ ලස්සන බෙදා දෙනවා. මගේ තාත්තත් එහෙමයි. අපි හැමෝගෙම තාත්තලා එහෙමයි. එයාල ජීවිතයේ තරුණ කාලය අපි වෙනුවෙන්ම කැප කරනවා. එයාලා වියපත් උනත් අපි ගැන හිතන එක නවත්තන්නේ නෑ. ඔවුන්ට පුළුවන් උපරිමය අපට දේවල් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හරියටම මෙන්න මේ ගහ වගේ. ඉතින් මේ ගහ දැක්කම මගේ තාත්තා මතක් වෙලා මේ කවිපෙල ලියන්න හිතුනා. සියලුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා.
තුරුණු විය අප තර කරන්නට - කාලයට හිත හදන් වික්කා
අමාරුම දඩ කෝඩ කාලෙත් - ලයතුරේ සඟවාන රැක්කා
ඉඩෝරෙට පත් සිඳී ගිය මේ - ගහෙන් අද අප්පච්චි දැක්කා
සුවඳ දෙනවා මලින් බර වී - සියලු තුරුපත් සිදුණු ගිරියෙන්
ඒ ලෙසට කෙස් පැහීගිය නුඹ - අපේ දිවියට දුන්නු සිරියෙන්
එළිය දුටු මට හැකියි නම් අද - නවත්වමි කල තරුණ හරියෙන්
වැටුණු මල් සිසිලසකි දෙපයට - හති වැටී ඉරි තැලුණු දුවලා
එමල් විලසම නුඹේ සුවඳින් - අපට සුන්දර ලොවක් මවලා
නුඹ කියා දුන් මගේ යා හැකි - ඇස් පියන් වුව එළිය නිවලා
අපේ ලෝකේ ඉර හඳ වගේ ඉන්නෙ අපේ අම්මා තාත්තා දෙන්නා. අපිව මේ ලෝකෙ එලිය බලන්න අවස්තාව ලැබුනෙ ඒ දෙන්නා නිසා. ඉපදුනු දා පටන්ම අනේක විධ දුක් විඳලා අපිව උස් මහත් කලේ ඒ දෙන්නා. වැටි වැටි ඇවිදින කාලයේ ඉදන් මේ ලෝකෙ එක්ක දුර දුවන්න අපිට උගන්වපු මුල්ම ගුරුවරු උනේ අම්මයි තාත්තයි තමයි. ඒ අතරින් තාත්තා තමයි මට ලෝකයේ නොසැලී ජීවත් ව්න්න ඉගැන්නුවෙ. ඒ ණය නම් කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. මගේ තාත්තා ඇතුලු සියලුම පියවරුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
හරිම ලස්සනයි බඩියා
ස්තූතියි බඩියා
ඒක හරිම ලස්සනයි. මටත් ඒ ලස්සන අතීතෙ මතක් උනා❤️❤
ස්තූතියි ඔබට