අභිසාරිකා

1209520.jpg
Image source

මෙම පද්‍ය පන්තිය ලියන්න හේතු වුන සිද්ධිය මුලින් ම මතක් කරොත් හොදයි කියලා මම හිතනවා .ඒ සමග මම මෙය ලියූ මගේ දෘෂ්ටිකෝණය පිළිබඳ කෙටි විවරණයක් ඔයාලා එක්ක බෙදා ගන්න කැමතියි. මේක කියවලා ඔයාලත් ඔයාලට මේ සම්බන්ධව හිතන දේවල් මාත් එක්ක බෙදා ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ කවියට "අභිසාරිකා " කියලා නම දාන්න හේතුව වුනේ සමාජය තුළ කතාබහට ලක්වෙන ගණිකාවන්, ග්‍රේෂා ස්ත්‍රීන් යනාදී විවිධ නම් වලින් හඳුන්වන මුදලට සිරුර විකුණා ජීවත් වන ස්ත්‍රියක් පිළිබඳ වස්තු විෂය වන බැවිනි. බොහෝ විට මෙවැනි සමාජමය කොට්ඨාශයන් දෙස ද්වේෂ සහගත බැල්මෙන් යුක්තව කතාබහ කරන අවස්ථා අප කොතෙකුත් දැක ඇත.නමුත් වෙනත් ඇසකින් ඔවුන් දෙස බැලීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙය මා අතින් රචනා විය.

පොඩි කෙල්ල කාලේ ඈ ආදරේ හොයනකොට
වැරදිලා මං ලකුණු හරි වැරදි පෙනෙනකොට
මත් වෙච්ච බඹර තුඩු සුමුදු පෙති තලනකොට
මැව් හීන මාලිගා ලොකු වැඩියි බලනකොට

නම නැතත් පියෙකුගේ දල්වාපු පහන් සිල
රැකගන්න විකිනුනා අකාලෙට තැලුනු මල
කුනු කතා වචන හැම හිස් බඩට හපා ගිල
වැටෙන බව දැන දැනත් පාවුනිය වලා කුල

කිරි උරන කැකුලු මල ඒ හංස තුඩු බදන්
රැක ගන්න වියැකුනා කිරිගරුඬ රඹ කඳන්
මුදුඟිල්ලෙ බර දරපු උන් කඩන විට ඇඳන්
රන් තැල්ල හිනැහුනා හිස් ගෙලට දුර ඉඳන්

කාන්තාවන් ආදරේට කෑදර බව නොරහසකි.ඒ නිසාම බොහෝ විට කාන්තාවන් මුළාවට පත්වන අවස්ථා බහුලය. මෙම පද්‍ය පන්තියට යොදාගත් කාන්තාව ද එවැනිම අත්දැකීමකට මුහුණ දුන් තැනැත්තියක ලෙස මෙහි ප්‍රතිනිර්මාණය කොට ඇත. තරුණ හිරිමල් වයසේ ආදරය සොයා ගොස් තම පතිවත පවා ඔහු වෙනුවෙන් පරිත්‍යාග කොට අවසානයේ ඔහු ද නොමැතිව අසරණ වූ තැනැත්තියකි. ඔහු කෙතරම් ඇයව මුලාවට පත් කරත් ඇය තවමත් ඔහුට නොනවත්වා ආදරය කරයි. සමාජය තුළ මෙවැනි කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අසරණව සිටියි. එයින් සමහරක් එයම ජීවිකාව කොට ගෙන ජීවත් වනු දැකගත හැක.

ජීවිතය පිළිබඳ හරිහැටි අවබෝධ කර නොගත් බොහෝ පිරිසක් ගණිකා වෘත්තියේ යෙදේ . මෙම කවියට බඳුන් වූ ස්ත්‍රිය ද අකමැත්තෙන් වුව ද දුහුල් වතින් සැරසී නගරයට ගොස් සිය ශරීරය මුදලට විකුණා ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ දරයි. සංවේදී කාරණය නම් තම කුලුදුල් පළමු ප්‍රේමවන්තයාගෙන් උරුම වූ සිය දරුවාට අධ්‍යාපනය ලබාදීම උදෙසා බඹරු මෙන් ඇදෙන පුරුශයින්ගේ ලිංගික උපකරණයක් බවට පත් වීමට ඇයට සිදු ව තිබීම ය. කාන්තාවන් ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වන සහ තරුණියක් ලෙස කුඩා කල සිට සිහින මවන විවාහය ඇයට සිහිනයක් ම පමණය. එය කවිය තුළ දක්වා ඇත්තේ රන් තැල්ල බැඳීමට පින් මද බැවින් සිය ජීවිතයේ අඳුරු අතීතය සිහිකරමින් ඇය නිරන්තරයෙන් කඳුළු හෙළමින් සුසුම්ලන බවයි.

ඉතින් යාලුවනේ මගේ ලිපිය අවසානයි. ඔයාලගෙ වටිනා කාලය වැය කරලා කියෙව්වට ස්තූතියි.

Sort:  

කවිය හරිම ලස්සනයි

Thank you ♥️

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62020.79
ETH 2420.03
USDT 1.00
SBD 2.64