අමිල ටැලන්ට් - 01

in Steem Sri Lanka2 years ago (edited)

පැය පහක කාලයක් වැයවන දුර ගමනක් හෙයින් මා ලේසියෙන් කොළඹ පස් පාගන්නට යන්නේ නැත. කල්ප කාලාන්තරයකට පසු අද දින කොළොම්තොටට ගොඩබසින්නෙමි.

ඒ නාඩා ආයතනයටය. මා මේ ලියන්නේ මිතුරියක හා ඇගේ ස්වාමියා සමඟ ඔවුන්ගේ මෝටර් රියෙන් යන අතරමගදී ය. දැන් වෙලාව උදෑසන දහයයි විසි දෙකයි. මේ පසු කරන්නේ නිට්ටඹුව නගරයයි.

අද සවස උත්සව ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ මුහුණු පොතේ නිර්මාණකරුවන් සඳහා පැවැත්වූ "මුහුණු පොතයි කලාකෙතයි - අමිල ටැලන්ට් -2020" තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයයි. මෙම උත්සවය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එවකට පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්විණි.

සාහිත්‍යයට සහ කලාවට අදාල තරග ඉසව් 15කින් සමන්විත මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ රජය හෝ වෙනත් පුද්ගලික ආයතනයක් මගින් නොවේ. එය තනි පුද්ගලයකුගේ ප්‍රයත්නයකි. මෙහි විශේෂත්වය ද එයයි.

ඔහු දිගු කලෙක සිට ඉතාලියේ වෙසෙන ආනන්ද අමිල වැන්ඩවෝල් නම් ලාංකිකයාය. සිය මිතුරන් කිහිපදෙනෙකු ද හවුල් කරගෙන සිය පුද්ගලික ධනය වැය කර මෙම සත් කාර්‍යයය සිදු කරයි.මුහුණු පොත වෙනුවෙන් පැවැත්වෙන වෙනත් තරග ගැන නොදනිමි.

සාහිත්‍යය වෙනුවෙන් සම්මාන දෙන බොහෝ උළෙලවල විනිශ්චයන් පිළිබඳව බහුතරය තුල ඇත්තේ විවිධාකාර සැක සංකාය. ව්‍යාපාරිකයන් ද වන ඇතැම් පොත් ප්‍රකාශකයන් සම්බන්ධ වන කල්ලිවාදයක් පවතින බවට පැතිරෙන කතන්දර බහුලය. ඔවුන් කතාකරගෙන සම්මාන බෙදා ගන්නා බව ද කියවේ.

එම කටකතා සපුරාම සත්‍ය දැයි අගනුවරට බොහෝ දුර බැහැරක වෙසෙන හෙයින් නොදනිමි. සම්මාන ලාභීන් ලෙස බොහෝ විට කියවෙන්නේ එකම නම් කිහිපයක් බව නම් සත්‍යයකි. එහෙත් ඔවුන් ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් බැවින් එසේ වන්නට බැරි ද නැත. විනිසුරු මඬුල්ල කවුරුන්දැයි හෙලි වන්නේ ද නැත.

මෙම ගැටළුකාරී මතභේදාත්මක තත්වය වෙනස් වන අවස්ථා ද කලාතුරකින් හෝ දැකිය හැක. මෙවර හොඳම කවි පොත ලෙස රජත පුස්තක සම්මානය දිනූ "ගිනිවැදුණු පියාපත්" ලියූ සඳ රැසී සුදසිංහ එවැනි කලින් නොකියවුණු නමකි. ඇගේ පොත මට තවම මිලදී ගන්නට නොලැබුණත් එහි ප්‍රස්තුතය යාපනය පුස්තකාලය ගිනි තැබීම බව නම් දනිමි.

කෙසේ වුව ද අමිල මෙම වාතාවරණයෙන් බැහැරව සාධාරණ විනිශ්චයන් ලබා දීමට කටයුතු සැලසීම ප්‍රශංසාවට ලක් විය යුතුය. ඔහු අදාල විෂයේ ප්‍රවීණයන් විනිසුරන් ලෙස තෝරා ගන්නා අතර නම් ගම් රහිතව නිර්මාණ විනිශ්චයට යවයි.අවසන් වටයට අදාල නිර්දේශ සමඟ විනිසුරන් ද කවුරුන් දැයි ප්‍රසිද්ධ කරයි. එහෙයින් කවුරුන් ජයග්‍රාහකයන් වුව ද එම විනිශ්චයන් සාධාරණ බවට විශ්වාසයක් අප තුළ තිබේ.

මෙවර මම තරග ඉසව් පහකට ඉදිරිපත් වීමි.ඒ නිසඳැස්, සඳැස්, විචාර, කෙටිකතා සහ ගීත රචනා යන ඉසව් සඳහා ය.ඉන් ඉසව් තුනක නිර්මාණ අවසන් වටයට නිර්දේශ වී තිබීම සතුටුකාරකයකි.

FB_IMG_1659967123499.jpg

FB_IMG_1660047555963.jpg

FB_IMG_1660047502563.jpg

නිර්දේශ වූ අනෙක් අය ද සැබෑ දක්ෂයන් බව දන්නා නිසා ප්‍රථම, දෙවන හා තෙවන ජයග්‍රාහකයන් කවුරුන් වුව ද ඒ අයගේ දස්කම් ගැන සතුටු වෙමි. එය දැන ගන්නට ලැබෙන්නේ අද හවස උළෙල අතරතුර නිර්දේශ සඳහා සහතික ලද පසුය.

යන්න ආසා එකට මුහුණු පොතට ලියන දුටු නුදුටු මිතුරු මිතුරියන් රැසක් හමුවීමට නියමිත බැවිනි. උත්සවයේ විස්තර මෙම පෝස්ටුවේ දෙවන කොටස ලෙස පසුව ලියමි.

මෙහි පහත සේයාරුවෙහි සිටින්නේ අමිලය.
FB_IMG_1663999506885.jpg

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 60997.20
ETH 2384.69
USDT 1.00
SBD 2.56